Thursday, September 13, 2012

ඈත පළාත්වල ජීවිත....


මේ කතාව කියවගෙන යනකොට ඔබට සිනා පහළ වේවි නිතැතින්ම...කමක් නෑ ඒක ස්වාභාවිකයි, නමුත් පස්සෙ හරි ටිකක් හිතල බලන්න අපි හිනා වෙලා තියෙන්නෙ අපිටමයි නේද කියලා මොහොතකට හරි....අපි උපහාසයෙන් බැලුවේ අපේම රටේ අපේම වැඩිහිටියෝ, දරුවෝ පිරිසක් දිහා...කැත්ත, උදැල්ල, ගිණි ගහණ අව්ව, වැස්ස, වන සිවුපාවා එක්ක ඔට්ටු වෙලා රටට බත, ධාන්‍ය සපයන උත්තමයන්ට....

ඒ නිසා කරුණාකරලා මේක කියවලා හීන් හිනාවක් දාලා මේ මිනිස්සුන්ව අමතක කරලා දාන්න එපා...

හරි මෙන්න කතාව. මම දුරින් හඳුනන කෙනෙකුගෙ සත්‍ය අත්දැකීමක්.

මේක වෙලා දැන් අවුරුදු 15ක් විතර වෙනවලු.
ගුරුවරයෙක් වෙච්ච මගේ හිතවතාට දුෂ්කර සේවා විදියට බොහොම පිටිසර පළාතක පාසලකට පත්වීම ලැබුනලු.
මෙයා ගිහින් තියෙන්නෙ මෝටර් සයිකලයෙන්. ගිහින් නැවැත්තුවම ළමයෙක්ගෙ තාත්තා කෙනෙක් යයි සිතිය හැකි ගැමි මනුස්සයෙක් ළඟට ආවලු.
මේ කාලෙ මේ ගමේ මෝටර් සයිකල් එහෙම දකින්න ලැබෙන්නෙ බොහොම කළාතුරකින්ලු. මෙයා අපේ හිතවතාගෙන් ඇහුවලු මෙහෙම,
"මහත්තය, උඹ මොකෙන්ද ආවෙ?"
අපේ හිතවතාට ඇමතුවෙ මහත්තය කියලද වෙන මොකක් හරි කියලද කියල හරියට මතක නෑ. කොහොමවුනත් ඒ අදහස තියෙන ගැමි වචනයක්.
'උඹ' කියල කිව්වට අපේ හිතවතාට ටිකක් විතර අප්සට්ලු. ඒ උනත් මේ පළාතෙ හැටි වෙන්න ඇති කියල දුන්නලු අහපු එකට උත්තර.
"මම මෝට(ර්) සයිකලෙන් ආවෙ."
මේක ඇහුව විතරයි අර මනුස්සයගෙ මූණ ඇඹුල් උනාලු, තරහ ගිහින් වගෙ එතැනින් යන්න ගියාලු.

කාර්යාලයට ගිහින් විදුහල්පතිතුමා හමුවෙලා, රාජකාරි
කටයුතු එහෙම සම්පූර්ණ කරලා, ආ ගිය කතා එහෙම කතාකරනකොට කිව්වලු අර මනුස්සයට තරහ ගිය සිද්දිය.
විදුහල්පතිතුමාට තේරුණාලු අවුල.
"මදැයි ඔයින් ගියා. මේ පළාතෙ 'මෝ' කියන්නෙ අම්මට. 'මෝට' කියන්නෙ 'උඹෙ අම්මට....' වගේ කතාවක්නේ....!"

ඔය වගේ භාෂා වෙනස්කම් නිසා වෙච්චි සිද්දි බර ගානක් කිව්වා, දැන් මට මතක නෑ.

ඔන්න අපේ ගුරුතුමා පන්තියට ගිහින් නාමලේඛනය පරීක්ෂා කරනවලු පහුවදා.
මෙහෙම බලාගෙන ගනකොට තියෙනවලු හරි අපූරු නමක්.
'දිවංගත ප්‍රේමදාස'
කුතුහලයට පත්වුනු අපේ ගුරුතුමා හොයල බැලුවලු මේ නමේ උපත.
බලනකොට මේ නම අයිති දරුවගෙ තාත්තා තමයි නම දාල තියෙන්නෙ. දරුව ඉපදිල තියෙන්නෙ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා අභාවප්‍රාප්ත වෙච්ච දවස්වලලු.

ඒ දවස්වල 'වෑර්ලස් එකේ' (ගුවන් විදුලියේ) හරියට වැඩසටහන් වල කියවුනනානේ ඔය 'දිවංගත ප්‍රේමදාස' නාමය. මේ ගැමි මනුස්සයා හිතල තියෙන්නෙ දිවංගත කියන්නෙ 'ශ්‍රීමත්' වගේ විශේෂණ පදයක් කියලා. තේරුම හොයලා නැහැ, ලස්සන නිසා දැම්මලු. 
බලාගෙන ගියාම අපේ නගරබද 'පොෂ්' අම්මල තාත්තලත් ඔය වගේ තේරුම හොයන්නැතුව නම් දානවානේ! (උදා. 'ට්‍රික්සි' = ප්‍රයෝගකාරී / සෙල්ලක්කාර )

ආයෙ දවසක් ආවලු අලුතෙන්ම දරුවෙක් බාර දෙන්න. බාර දීලා දෙමාපියෝ ගියාලු. අපේ ගුරුතුමා අර දරුවගෙන් විස්තර අහනවලු.
"පුතේ ඔයාගෙ තාත්තගෙ නම?"
කොළුවා උඩ බිම බළයි.
"ඇයි පුතේ දන්නෙ නැද්ද?"
(නොදන්නා බව හැඟවීමට ඔළුව වනයි.)
"හොඳයි ඔයාගෙ අම්මා ගෙදරදි තාත්තට කතා කරන්නෙ කොහොමද?"
"ඕයි..කියලා"
"එතකොට තාත්ත අම්මට...?"
"ඒයි.....!"

වායුසමනය කරපු විවේකාගාරයක, සැප පුටුවකට බර වෙලා ජනතා මුදලින් නඩත්තු වෙන අන්තර්ජාල සබඳතාවකින් මේක ලියන මට, ඔබ ලවා ඔවුන්ව උපහාසයට ලක් කරන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නැති බව යළි යළිත් අවධාරණය කරන්නනම ඕනෑ. මහාචාර්ය ගංගානාත් කියනව වගේ, අපිව මේ විදියට නඩත්තු කරන්න මේ අහිංසකයින් පවා දායක වෙනවයි කියන එක කවදාවත් අමතක කරන්න හොඳ නෑ. මගේ විවේකාගාරයේ දැල්වෙන පහනත්, වායුසමන යන්ත්‍රයත් වැඩකරන්නෙ විදුලියෙන් නොවේ, මේ අසරණයින්ගෙ ලේ දහදිය වලින් කියලයි මට හිතෙන්නෙ. අන්තර්ජන්ජාලෙ හුවමාරු වෙන්නෙ දත්ත නොවෙයි, ඔවුන් හෙලන කඳුළු කියලයි මට හිතෙන්නෙ. මේ ගැමියන්ට සේවය කරන්න අනන්ත දුක් ගැහැට විඳින අපේ ශ්‍රේෂ්ඨ ගුරු පරපුරට මෙය උපහාරයක්ම වේවා..!

No comments:

Post a Comment