Thursday, September 13, 2012

බියකරු අත්දැකීමක්


මම ඉගෙන ගත්ත කැම්පස් එක කඳු පළාතක තිබුන එකක්. කාලෙකට ගිණියම් මේ පළාත සීසන් එකට, ඒ කියන්නෙ නොවැම්බර්, දෙසැම්බර් කාලෙට නුවරඑළිය වගේ සීතල වෙනවා.
අපේ නවාතැන තිබුණේ කඳු මුදුනක. මේ කාලෙට වලාකුළු යන්නේ අපේ ෆෝටිකෝව මැදින් කිව්වොත් ඒක කිසිසේත්ම අතිශයෝක්තියක් නෙමෙ.
මේ ගෙදර අයිතිකාරයො දුර පළාතක පදිංචි වෙලා හිටියෙ. අපි කැම්පස් කොල්ලො සෙට් එකක් තමයි මේක අරක්ගෙන හිටියෙ. වෙන කවුරුවත් නැහැ.

මේක වුන දවස්වල හිටියෙ මම විතරයි. ඉයර් එකක් ඉවරවෙලා මාසෙකට වැඩි නිවාඩුවක් ලැබිලා කවුරුත් ගෙවල්වල ගිහින්. මේ ගතවෙන්නෙ නිවාඩුවෙ හරි මැද දවස්.

මම මොකද මේ පාළු ගෙදර කළේ කියල ඔබ හිතාවි. අපේ උපාධියේ කණ්ඩායම් ව්‍යාපෘතියට අපි කළේ පරිගණකයකින් පාලනය වන වාහනයක්, අර ග්‍රහලෝක වලට එහෙම යවන්නේ රෝවර් යානා, අන්න එහෙම එකක්. ඉතින් මේකෙ විදුලි හා ඉලෙක්ට්‍රොනික් පද්ධතිය සැලසුම් කරල ඇටෙව්වේ මම. ඉස්සර ඉඳලම මට ඔය රොබෝ උණ තිබුණා. මම කර කර හිටියේ ඕකෙ වැඩ.

තනියමද කියල අහනවා? ඔව්. ගෲප් එකේ අනිත් උන් මේ වැඩ වලට ආස නෑ. උන්ට සොෆ්ට්වෙයා වැඩ භාර දීල තිබුනේ.ඒ කියන්නේ ප්‍රොග්‍රෑමින්, සිමියුලේශන්ස් වගේ වැඩ.

(කෑවා! කෑවා!! නොගැලපෙන් තැනකට ටෙක්නිකල් දේවල් දාලා ඩිවොලොප් වේගෙන ආපු ෆීලින්ග් එක තනිකරම කෑවා කියලා හිතෙනවනම් සොරි වෙන්ට ඕනෑ. මට ඕනි වුනේ මේක නිවාඩු මාසෙ ගෙදර නොගිහින් කරන්න තරම් සංකීරණ ප්‍රොජෙක්ට් එකක් බව කියන්න මිසක් මගේ වැඩ පෙන්වීම එහෙම නෙවෙ. හරිය?)

මම සාමාන්‍යයෙන් ඔය හොල්මන්, අවතාර වගේ ඒව විශ්වාස කරන කෙනෙක් නොවෙයි. කොහොමත් මම දේව ගණයෙ නිසා මට ඒව පේන්නෙ නැතිලු. රෑ වෙනකම් වැඩ කරලා මම කන්න කඩේට යන්නෙ ෆෝන් එකේ ඩිස්ප්ලේ එකේ එළියෙන්. යකාට බයනම් සොහොනෙ ගෙවල් හදනවද?

දවසක් වැඩ කර කර ඉඳලා මම එළියට යන්න ඉස්සරහ දොර අරින්න ගියා. (සීතල නිසා වහගෙන ඉන්නෙ.) ඕකෙ අගුල කරකවල අරින එකක්. සාමාන්‍යයෙන් ටිකක් තදයි.
ලොක් එකට අත තිබ්බා විතරයි මෙන්න ඒක හෙමිහිට නිකම්ම කැරකෙනවා! ඒ විතරක් නම් මදැයි දොරත් හෙමීට ඇරුණා!! (මගේ කිසිම ආයාසයක් නැතිවම!)
මම එකපාරටම දැක්කේ ෆෝටිකෝව මැදින් ගුප්ත විදියට ගලාගෙන ගිය තද මීදුම් වලාකුළක් විතරයි. ඒ මැදින් මතුවුනේ කවුද..? දඬු ලේනා...!

ඒ උගෙ කැම්පස් කාඩ් එක (අන්වර්ථ නාමය).
මට ක්ෂණිකව ඇතිවුනේ මෙහෙම හැඟීමක්...(අවංකවම)
මූ ඇක්සිඩන්ට් එකකින් මැරිලා, මට පෙනී ඉන්නවා ඒ පණිවිඩය දෙන්න. ඔහොම කතා බර ගාණක් මම කියවලා තිබුණා. හදිසියේ නොසිතන මොහොතක මැරිච්ච මිනිස්සු තමන්ගෙ ළඟම හිතවතුන්ට ඊට මොහොතකට පසු පෙනී හිටපු සිද්ධීන් පිටරටවලින් විතරක් නොවෙයි ලංකාවෙනුත් ගොඩක් වාර්තා වෙලා තිබුණා. හදිසියේ ගෙදර ආපු තමන්ගේ සැමියා එක්ක කතාකරලා මිනිත්තු ගණනකින් ඔහු යුදබිමේදී මිය ගිය පණිවිඩය ලද සෙබළ බිරිඳකගේ කතාවක් කියවලා වැඩි දවසක් ගෙවිලා තිබුනේ නෑ.

"බය උනාද...?"
මෙහෙම කියලා දඬුලේනා මගෙ අත අල්ලා ගත්තා.
උගේ අත උණුසුමට තිබුන, එතකොට තමයි මට තේරුණේ මූ මැරිලා නෑ කියලා!

මේ ටිකක් අභව්‍යයි වගේ හිතෙයි. ඒත් මතක තිතාගන්න මේ ඔක්කොම වුනේ තත්පර 2-3ක් ඇතුළත කියලා. මට කියන්න ඕනි උනේ අපි එදිනෙදා දකින, අසන දේවල් කොච්චර අපේ යටි හිතට බලපෑම් කරනවද කියලා.

No comments:

Post a Comment