Thursday, September 13, 2012

ජෝන් මාමා


මේ ළඟදී මම නිවාඩුවකට මහ ගෙදර ගියෙමි. අපේ මහගෙදර තියෙන්නේ මාතර දිස්ත්‍රික්කයේ කෙළවර, තරමක් පිටිසර, එහෙත් සුන්දර ගම්මානයක කඳු නැග්මක මැද හරියේ හුදකලාවය. මා කුඩා කල හැදුනේ මෙහිදී ය. දැන් පාළු ස්වභාවයක් ඉසිලුවත්, එකල පවුල් කිහිපයක් (මගේ ලොකු අම්මලාගේ) සහ ළමෝ ළපටි දස දෙනෙක්ගෙන් මේ අභිමානවත් නිවස පිරී ඉතිරී තිබුණි. දැන් එහි වාසය කරන්නෝ අපේ ලොකුම ලොකු අම්මාත්, ඇගේ අවිවාහක දුවෙකුත් (මගේ ලොකු අක්කා) අවිවාහක පුංවි අම්මාත් පමණි.

මා සාලය හරහා කෑම කාමරයට ගොඩවැදුනේ පොඩි බඩගින්නක් දැනුනු නිසා ඊට වග-උත්තර බැඳීමටය. මැදි විය පසු කර ඇති ඉතා අහිංසක ගැමි යුවලක් නිහඬව ලොකු අම්මාගේ සංග්‍රහයක් භුක්ති විඳිනු දුටිමි. සාමාන්‍යයෙන් ගැමි ප්‍රභූ නිවසක් යැයි සැලකෙන මේ ගෙදර ඕනෑම මොහොතක මෙවැනි දර්ශනයක් වරදින්නේ කලාතුරකින් වුවත්, ඔවුන් - විශේෂයෙන් ගැමි කාන්තාව මට දැක පුරුදු නොවුවත්, ගැමි වැඩිහිටියා ගැන නම් මට යම් අපැහැදිලි - එහෙත් සුවිශේෂී මතකයක් ඇතිබව දැනුනි. හරි හතර රියන් පුරුෂයකු වූ ඔහු කලක් ඉතා ශක්තිමත්ව සිටි බවට ලක්ෂණ තවමත් ඉතිරිව ඇත. උඩුකය තරමක් නිරාවරණය කර තිබූ නිසා පපුවේ ඝන රෝම වැවී තිබෙනු දිස්විය.

"පුතේ, මේ ජෝන් මාමයි ඒ නැන්දයි. කන්දෙ එහා පැත්තෙ ඉන්නෙ. එහේ පොඩි උත්සවයක් තිබිල, මේ අපිට කැවිළි අරන් ඇවිත්..."
ලොකු අම්මා මට ඔවුන් හඳුන්වා දුන්නාය.
බුළත් කහට බැඳුණු මුවින් ඔවුහු මා සමග අහිංසක ලෙස සිනාසුනහ. ඒ සිනහව තුළ, ගැමි කමට ආවේණික අව්‍යාජත්වය, ගෞරවය, ලෙන්ගතුබව යන සියල්ල ගැබ්ව තිබුණි. මේ සමගම මා හද තුළ වූ ගැමියා අවදිව ජෝන් මාමා ගැන අපූරු සිදුවීමක් සිහිකැඳවමින් මා වසර විසි ගණනක අපූර්ව වූ අතීතයට කැඳවාගෙන ගියේය.

* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *
මහගෙදරට අයත් කුරුඳු ඉඩම, අක්කර ගණනක් පැතිරී නිවස පිහිටි කන්දේ මුඳුන දෙසට යොමුවී තිබිණ. ඊටත් උඩින්, මුඳුනට කිට්ටුවන්නට තිබුණේ නොඉඳුල් වන ලන්දය. මේ ළඳු කැලෑව මාගේත්, අමිලගේත් ළමා සිත් නිරන්තරයෙන් කුහුලෙන් පුරවාලීමට සමත්විය. (අමිල යනු මගේ සමවයසේ සිටි ලොකුඅම්මා ගෙනෙකුගේ පුතෙකි.) ඉඳහිට දිනක මහගෙදර පිළිකන්නට ලන්ද බැස එන වල් ඌරන්, ඕලු මුවන් හා රාත්‍රියට විවිධ අත්භූත ශබ්ද නගන විවිධ සත්ත්වයන් මෙය අපූරු තැනක් යයි යන අදහස අප හදවත් තුළ ස්ථිර කලේය. මෙහි මුදුනට නැග්ග විට මුහුද ඇතුළු අප මෙතෙක් නොදුටු බොහෝ අපූර්ව දේ දර්ශනය වන බවට අපි විශ්වාස කළෙමු.

එක්තරා පාසැල් නිවාඩු දිනෙක, ගෙදරට හොරා මෙය ගවේෂණය සඳහා තරණය කිරීමට අපි දෙදෙනා තීරණය කළෙමු. (දළ ඌරන්ගේ/ බඹරුන්ගේ ප්‍රහාරයට ලක්විය හැකි බැවින් මෙය අපට තහනම් කර තිබුණි.) එකල අපේ වයස අවු.7කි.

කුරුඳු ඉඩම පසු කර අප බොහෝ දුර පැමිණ තිබුණි. දැන් දැන් රැහැය්යන්ගේ කන් බිහිරි කරවන ශබ්දය ජනිත කළේ ගුප්ත හැඟීමකි.

එක් වරම අමිල මට වැළමිටෙන් ඇන වහාම නිෂ්ශබ්ද වනලෙස දන්වා මාත් ඇදගෙන පඳුරක් පසු පස සැඟවුනේ කුතුහලය අවුස්සමිනි.
පඳුරු අතුරින් අප දුටුවේ කුමක්ද...?

ඇඟ පුරාම ඝනව රෝම වැඩුණු කළු, ඉතා උස මහත කෙනෙක් (ඇඳ සිටියේ අමුඩ කෙටියක් බව යන්තමින් මතකයි.) අප දෙසට එයි.

මේ කැළෑවේ හොල්මන්, අවතාර, යකුන්, බහිරවයන් අරක්ගෙන ඇතිබව කියමින් අප සහෝදරියන් නිතරම අප දෙදෙනා බිය ගන්වයි. එවෙලේට කොලු කමට එය අවඥාවට ලක් කළත්, යම් යම් අත්භූත දේ පැවතිය හැකි බවට අප යටි හිතේ තැන්පත්වී තිබෙන්නට ඇත.

ඊළඟ මොහෙතේ අමිලයාත් ඇදගෙන කඩාගෙන බිඳගෙන දුවන්නට මගේ දෙකකුල් වලට පණ ලැබුනේ කෙසේදැයි නොදනිමි.

* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *
මේ සිද්ධිය මා මතක්කර සිටිවිට, ජෝන් මාමා ඇතුළුව අප සියලු දෙනාට සිනාව නවත්වාගැනීමට නොහැකි විය. මහගෙදර සියලු දෙනා හඬ නගා සිනාසුනද, ඔවුහු පළ කළේ නිහඬ අහිංසක සිනාවකි. එකල ඔහු කිතුල් මැදීම කළ බවත්, කැළය මැදින් කෙටි පාරකින් ගමන් කළේ එවැනි රාජකාරියට විය හැකි බවත් ඔහු කීය.

පිළිකන්නෙන් ගෙට ගොඩවූ ඔවුහු, පිළිකන්නෙන්ම බැස ගියහ. සාලයට පැමිණ ආගිය තොරතුරු විමසීමක් එම ගැමියන්ගේ නොවීය.
ඔවුන් ගිය පසු ලොකු අම්මා පැවසුවේ ජෝන් මාමා තරුණ කළ ඉතා හැඩි දැඩි සැරපරුෂ පෙනුමක් තිබුණක්, ඔහු එකල පවා පාඩුවේ ජීවත් වූ අහිංසක නිර්ව්‍යාජ ගැමියෙක් බවයි. 

අපූරු පින් අනුමෝදනාව


සෑහෙන කාලෙකින් ලබැඳි මිතුරෙක් කතා කළා..වෙන කවුරුවත් නෙමෙ...ෂෙරීෆ් (එයා ගැන මේකෙ වෙනම තැනක ලියැවිල තියෙනව. ලින්ක් එකක් දාන්න විදියක් නෑ කවුද ගෝතයෙක් 'ස්පෑම්' කියල රිපොර්ට් කරන්න අරන්.) මතකයන් ආයෙත් අවුරුදු කිහිපයක් අතීතයට ගියා. පුංචි, නමුත් කිසිදා අමතක නොවන සිදුවීමක් ඒත් එක්කම මතකෙට ආවා. මේක වුනේ වෙසක් කාලෙක වුනත් සුදුසු කාලෙ - මීළඟ වෙසක් කාලෙ එනකම්  ඉන්න බැරි නිසා ඔන්න ඔහෙ ලියල දානව.

මම ගියා තොරණක් බලන්න. තොරණක් කිව්වෙ වෙසක් තොරණක්. සෑහෙන කට්ටිය එහෙමත් හිටිය. රෑ. 
මෙන්න බොලෙ ටික වෙලාවකින් මගෙ නම කියනව යකඩ කටෙන්...!

"............ විශ්වවිද්‍යාලයේ සේවය කරමින් සිටියදී හදිසියේ අප අතරෙන් වියෝවූ..
මහාචාර්ය සුනෙත් පතිරණ මහතාට නිවන් සුව පතමින් එතුමාගේ ආදරණීය ගෝලයන් පිරිසක් රුපියල් විස්සක මුදල් ආධාරයක් අප වෙත ලබා දී තිබෙනවා."
මෙසේ කී නිවේදකයා හිටගෙන කවියක් කියන්න ගත්තනෙ මගේ අවාසනාවන්ත හදිසි වියෝව ගැන..!

එක පාරටම තක්බීර් වෙලා ගියත් ඊළඟ මොහෙතෙ මට තේරුණා මොකද්ද පටලැවිල්ල කියලා...
මේක මගෙ යාලුවො එකතු වෙලා කරපු පුංචි අහිංසක විහිළුවක්.

අධික වැඩ රාජකාරි නිසා මාත් එක්ක ෆෝන් එකෙන් කතා කර කර ඉන්න වෙලාවක් නැති වුනත් ආයෙමත් අවස්ථාවක් ආවොත් මාව ආදරේට මරන්න නුඹලා පසුබට නොවෙන බව මම දන්නවා....
ආදරණීය සරසවි මිතුරනි, ජීවත්ව සිටියදීම මට පින් අනුමෝදන් කරනු ඇසීමට දුලබ වාසනාව උදා කර දීම ගැන නම් කියලා වැඩක් නැත....

ජීවන සුනාමිය


ජීවිතයේ වාසනාව හා අවාසනාව සදා අප සමග නොවුවත්, ඒ ද්විත්වයම කිසිදා අප හැර නොයන බව මට තදින් විශ්වාස කිරීමට සිදුවී ඇත්තේ පසුගිය වසර කිහිපය තුළ අත්විඳීමට සිදුවූ විශ්වාස කිරීමට තරම් නොහැකි එක පිට එක පැමිණි දුක්, කම්කටොළු මැදින් මා සොයා ආ වාසනාව නිසාය. විටෙක මා තරම් අවාසනාවන්තයෙකු මේ මිහිපිට නොමැති යයි හැඟුනිද, ඒ අවාසනාවම මට ජීවිතයේ නොසිතූ විරූ ජයග්‍රහණ ළඟා කර දී ඇති අයුරු මා විශ්මයට පත් කරයි. ජීවිතය නම් මෙයැකැයි සියල්ල උපේක්ෂා සහගතව ඉවසීමටත්, කම්පා නොවීමටත් මා ප්‍රගුණ කළේ ඒ අසමසම අවාසනාවන්ත සිදුවීම් සමුදායයි.

ඒ වන විට ගෙවෙමින් තිබුණේ මගේ සරසවි දිවියේ තෙවන වසරයි. ඉතා උද්යෝගිමත් ලෙස අධ්‍යයන කටයුතු කරමින් සිටි මගේ ඒකායන අරමුණ වූයේ උපාධියේ ඉහළම සාමාර්ථයක් ලබා ආචාර්ය මණ්ඩලයට බැඳීමයි. තෙවන වසර ප්‍රථම සෙමෙස්තර විභාගයෙන් GPA අගය ලෙස 3.8 ඉක්මවින් මා කණ්ඩායමේ ඉහළම ළකුණු වාර්තා කර තිබීම ඒ බලාපොරොත්තු තවත් තීව්‍ර කළේය.

නමුත් අවාසනාව මා හඹා ආවේ මටත් හොරාය. වසර 2 1/2 කට අධික කාලයක් පෙරුම් පුරමින් බලා සිටි මට ඇයගෙන් ලැබුයේ අනපේක්ෂිත පිළිතුරකි. මෙයින් ලද ජීවිත කළකිරීම හා වෙනත් කරුණු කිහිපයක් මුල් කොට ගෙන මට දැඩි මානසික අවපීඩනයකට මුහුණ දීමට සිදුවිය. එය එකම හේතුව නොවුවත්, මා ක්‍රමයෙන් කෘශ වී සිරුර වැහැරී දැඩි ලෙස රෝගාතුර වූයෙමි. එක්තරා දිනෙක එහි සීමා මායිම් දෙගොඩ තලා ගලා ගොස් මා ක්ලාන්ත වී ඇද වැටුනි. 
රෝහලට ඇතුළත් කර කරන ලද පරීක්ෂණ වලින් හෙළි වූයේ මා සදාකාලික රෝගියකු බවට පත්ව ඇති බවයි. මගේ රුධිරගත ග්ලූකෝස් මට්ටම 667 ඉක්මවා තිබූ අතර මා දියවැඩියා රෝගයේ ඉතා අවාසනාවන්ත ගොදුරක් වී තිබුණි. ඒ වනවිට මා යන්තමින් ජීවිතයේ 24 කණුවට ළගා වූවා පමණි.
මියෙන තුරාම මා හට දිනපතාම දෙවරක් ඉන්සියුලින් එන්නත් කිරීම අනිවාර්ය බව වෛද්‍යවරු නිර්දේශ කළහ. ඔවුන්ගේ තවත් එක් නිර්දේශයක් වූයේ එම එන්නත මා විසින්ම කරගත යුතු බවයි! 

මෙය මා දැඩි කළකිරීමකට පත්කිරීමට සමත් විය. වෙනත් අයකු විසින් කරන එන්නත් කිරීමද මා ඉවසන්නේ ඉතා වේදනාවෙනි. දිනකට දෙවරක්, මියෙන තුරාම මගේ සිරුර මවිසින්ම සිදුරු කර ගැනීම ඉවසිය හැකිද? තව කොපමණ දුරක් යා යුතුව තිබේද..? 
මීට අමතරව මුළු ජීවිත කාලයටම බලපාන පරිදි මට සියලුම රසවත් ආහාර සපුරා තහනම් කරන ලදී.

ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා සේ වූයේ, සිරුරේ සංඥා හසුරුවන රසායනික සමතුළිතතාව බිඳ වැටීම හේතුවෙන් මගේ දෑසේම පෙනීම නැති වී ගියාට පසුය. 

තෙවන වසර අවසන් විභාගය ළඟ ළඟ එයි. මේ මානසික කායික තත්ත්වය හමුවේ මගේ අරමුණු වලට කෙසේ නම් යා හැකිද..? එය සිහිනයක් පමණි. මේ ගෙවී යන්නේ අධ්‍යයන නිවාඩුවයි.
මා ඇය සමඟ අමනාප නොවුවත්, ඇය මා බැලීමට පැමිණියේ නැත. සදාතනික රෝගියකු බවට පත්ව ඇති මා, මින් ඉදිරියට ඇය පමණක් නොව සමස්ථ ගැහැණු වර්ගයා විසින්ම ආදරවන්තයෙකු, ආදරබර ස්වාමි පුරුෂයකු හා තම දරුවන්ගේ ආදරණීය පියා ලෙස පිළි නොගනු ඇත. මා නිරෝගී කල ප්‍රතික්ෂේප කරන ලද හේතුන් ගැන සිතන විට, මෙය දරා ගත නොහැකි තරම් කටුක යතාර්ථයක් බව මට පසක් වුණි.

මට සිතුනේ මා තරම් අවාසනාවන්තයෙක් මිහිපිට තවත් නොමැති බවයි.
යන්තම් පෙනීම ලබා, මුහුණ දුන් තෙවන වර අවසන් විභාගයේ ප්‍රථිඵල නිකුත් වීමත් සමගම එය සනාථ විය. සියලුම විශයන්ට සාමාන්‍ය සාමාර්ථ ලබා, මා කණ්ඩායමේ අන්තිමයා වී තිබුණි. GPA යන්තමින් 2.0 ඉක්මවීය. ප්‍රථම පන්ති සාමාර්ථය සාමාන්‍ය සාමාර්ථයක් බවට පත්ව තිබුණි. මීට පෙර විභාගයේ Batch Top වූ මා මෙවර Batch Bottom වීම කොතරම් දරුණු දෛවයේ සරදමක්ද..? මගේ එකම සැනසීම වූ ඉහල සාමාර්ථයක් සහිත උපාධිය හා අනාගත රැකියාව කෙරෙහි බලාපොරොත්තුද  කෙමෙන් මා හැර යන බව දැනුණි.

කෙසේ වෙතත් අවාසනාවට දිනුම නොදී සටන් කළ යුතු බව මම තීරණය කළෙමි. මගේ අරමුණට යාමට නම් අවසන් වසර සියළුම විෂයන්ට අති විශිෂ්ට සාමාර්ථ ලබා ගනිමින්, ගෞරව උපාධිය සඳහා සම්පූර්ණ කළයුතු පර්යේෂණයද ඉතා උසස් තත්වයෙන් තිබිය යුතුය. මේ සඳහා ඉතාමත්ම දැඩි කැපකීම් කිරීමට අවශ්‍යය. ඉතාම සුළු අත්වැරදීමකින් පවා එය අහිමි වී යා හැකිවීමේ අවදානම මා දැරිය යුතුය.

ඔව්..මා එය කළෙමි...!

මට අවශ්‍ය කර තිබූ පන්ති සාමාර්ථය සහිතව මා උපාධිය ඉතා ඉහළින් සමත් වී තිබුණි. මෙවර මට සිතුනේ මා ඉතා වාසනාවන්ත බවයි.

නමුත්... මා සිතුවා වැරදිය....'කට වැඩි නිසා' මා ආචාර්ය මණ්ඩලයට බඳවා ගැනීම විශ්වවිද්‍යාලය විසින් නිගරු කොට ප්‍රතික්ෂේප කරන ලදී.
පුද්ගලික අංශයේ රැකියාවක් සොයා ගන්නට පෝළිමේ රස්තියාදු වූ මට දැනුනේ නැවතත් අවාසනාව යළි මා ලුහු බැඳ එන බවයි. රටේ සියළුම ප්‍රධාන පෙළේ මෘදුකාංග සමාගම් මගේ පන්ති සාමාර්ථය සත පහකට මායිම් නොකර මගේ සේවය අනවශ්‍ය බව පැවසීය. අවසානයේ අප ශිෂ්‍ය කණ්ඩායෙම් ඉතිරිව සිටියේ මාත්, තව අයෙකුත් පමණි.
අවසානයේ මට රැකියාවක් ලැබුණි. නමුත් අවාසනාවේ සෙවනැළි තවමත් මා අත් නොහැරි බව වැටහුනේ රැකියාවේ වෙහෙසකාරී බවත්, ඊට ගෙවනු ලැබූ සොච්චම් වැටුපත් හේතුවෙනි. මේ වන විට රැකියා ලබා සිටි මගේ 'බැචාලා' අතුරින් ඉතාම අවම වැටුපකට සේවය කළේ මාය. කොතරම් අඩුද කියනවානම්, ඉතා දුක්ඛිත තත්ත්වයේ නවාතැන් හා ආහාර පහසුකම් ලබමින් පවා මා ලැබූ මාසික චේතනය, මාසයේ මූලික වියදම් ආවරණය කිරීමටවත් ප්‍රමාණවත් නොවීය. මා අවසන් වසරේ කරන ලද සියළු කැපකෙරීම් ගඟට කැපු ඉනි මෙන් විය. මා ලැබු දැනුමෙන් කිසිවෙකුටත් පළක් නොවන බව වැටහුණි.

නමුත් අවාසනාව තල්ලු කරගෙන වාසනාවට මා වෙනුවෙන් මවෙත පැමිණීමට ඉඩ හසර ලැබී තිබුණි.
කිසිවෙකුත් නොසිතූ පරිදි, අසාර්ථක යයි අත් හැර දමා තිබූ සංකීර්ණ ව්‍යාපෘතියක්, ඉතා දැඩි කැපවීම මත අති සාර්ථක ලෙස දින කිහිපයක් තුළ 'ගොඩ දැමීමට' මට හැකිවිය. එතැන් සිට මවෙත සියල්ල ළඟා වන්නට වූයේ නන්දා මාලිනියගේ 'පූජාසනයේ ඔබ හිඳුවා..' ගීතය යථාර්ථයක් බවට පත් කරමිනි.

නමුත් එක්තරා සිදුවීමක් නිසා මා එම රැකියාව අත් හැර දමා යළි මගේ ප්‍රථම අරමුණට යාමට ප්‍රයත්නයක යෙදුනෙමි. මා උගත් සරසවිය නව උපකුලපතිවරෙකු යටතේ පාලනය වුවද, ඔහු අසත්‍ය වූ කේළාම් විශ්වාසයට ගන්නෙකු වීම මා නැවත වරක් කළකිරීමට තරම් ප්‍රබල සාධකයක් වීම මගේ අවාසනාවක්ද නැත්නම් මගේ මවු සරසවියේ අවාසනාවක්ද යන්න නොදනිමි.

අවාසනාව වාසනාව බවට පරිවර්තනය කිරීමට තරම් මා දිරිමත් වීම ගැන අද උදම් අනමි. මා වැළඳගත් රෝගයට සාප කරමින් නොසිට මම එය පිළිබඳව ගැඹුරෙන් හැදෑරීමි. ජාන ඉංජිනේරු විද්‍යාව හා ජෛව තොරතුරු තාක්ෂණය පිළිබඳව හදාරන්නට මෙය තීරණාත්මක බලපෑමක් එල්ල කර ඇති බව පෙනේ.

කෙසේ වෙතත් රටේ කීර්තිමත් විශ්වවිද්‍යාල කිහිපයක්ම මා උණුසුම් ලෙස පිළිගනිමින් මගේ දැනුමට නිසි අගයක් එක් කළහ. ඉතා දැඩි තරඟයකින් අනතුරුව මා පමණක්ම තෝරා ගැනීමට තුඩුදුන් එක් ප්‍රබලම සාධකයක් වූයේ අවාසනාව විසින් මා උගැනුමට පොළඹවන ලද විරල දැනුමයි. 

මා හට අවාසනාවද, වාසනාවද ගෙනා ජානය 'LARS2' බව මම සොයාගතිමි.

ඈත පළාත්වල ජීවිත....


මේ කතාව කියවගෙන යනකොට ඔබට සිනා පහළ වේවි නිතැතින්ම...කමක් නෑ ඒක ස්වාභාවිකයි, නමුත් පස්සෙ හරි ටිකක් හිතල බලන්න අපි හිනා වෙලා තියෙන්නෙ අපිටමයි නේද කියලා මොහොතකට හරි....අපි උපහාසයෙන් බැලුවේ අපේම රටේ අපේම වැඩිහිටියෝ, දරුවෝ පිරිසක් දිහා...කැත්ත, උදැල්ල, ගිණි ගහණ අව්ව, වැස්ස, වන සිවුපාවා එක්ක ඔට්ටු වෙලා රටට බත, ධාන්‍ය සපයන උත්තමයන්ට....

ඒ නිසා කරුණාකරලා මේක කියවලා හීන් හිනාවක් දාලා මේ මිනිස්සුන්ව අමතක කරලා දාන්න එපා...

හරි මෙන්න කතාව. මම දුරින් හඳුනන කෙනෙකුගෙ සත්‍ය අත්දැකීමක්.

මේක වෙලා දැන් අවුරුදු 15ක් විතර වෙනවලු.
ගුරුවරයෙක් වෙච්ච මගේ හිතවතාට දුෂ්කර සේවා විදියට බොහොම පිටිසර පළාතක පාසලකට පත්වීම ලැබුනලු.
මෙයා ගිහින් තියෙන්නෙ මෝටර් සයිකලයෙන්. ගිහින් නැවැත්තුවම ළමයෙක්ගෙ තාත්තා කෙනෙක් යයි සිතිය හැකි ගැමි මනුස්සයෙක් ළඟට ආවලු.
මේ කාලෙ මේ ගමේ මෝටර් සයිකල් එහෙම දකින්න ලැබෙන්නෙ බොහොම කළාතුරකින්ලු. මෙයා අපේ හිතවතාගෙන් ඇහුවලු මෙහෙම,
"මහත්තය, උඹ මොකෙන්ද ආවෙ?"
අපේ හිතවතාට ඇමතුවෙ මහත්තය කියලද වෙන මොකක් හරි කියලද කියල හරියට මතක නෑ. කොහොමවුනත් ඒ අදහස තියෙන ගැමි වචනයක්.
'උඹ' කියල කිව්වට අපේ හිතවතාට ටිකක් විතර අප්සට්ලු. ඒ උනත් මේ පළාතෙ හැටි වෙන්න ඇති කියල දුන්නලු අහපු එකට උත්තර.
"මම මෝට(ර්) සයිකලෙන් ආවෙ."
මේක ඇහුව විතරයි අර මනුස්සයගෙ මූණ ඇඹුල් උනාලු, තරහ ගිහින් වගෙ එතැනින් යන්න ගියාලු.

කාර්යාලයට ගිහින් විදුහල්පතිතුමා හමුවෙලා, රාජකාරි
කටයුතු එහෙම සම්පූර්ණ කරලා, ආ ගිය කතා එහෙම කතාකරනකොට කිව්වලු අර මනුස්සයට තරහ ගිය සිද්දිය.
විදුහල්පතිතුමාට තේරුණාලු අවුල.
"මදැයි ඔයින් ගියා. මේ පළාතෙ 'මෝ' කියන්නෙ අම්මට. 'මෝට' කියන්නෙ 'උඹෙ අම්මට....' වගේ කතාවක්නේ....!"

ඔය වගේ භාෂා වෙනස්කම් නිසා වෙච්චි සිද්දි බර ගානක් කිව්වා, දැන් මට මතක නෑ.

ඔන්න අපේ ගුරුතුමා පන්තියට ගිහින් නාමලේඛනය පරීක්ෂා කරනවලු පහුවදා.
මෙහෙම බලාගෙන ගනකොට තියෙනවලු හරි අපූරු නමක්.
'දිවංගත ප්‍රේමදාස'
කුතුහලයට පත්වුනු අපේ ගුරුතුමා හොයල බැලුවලු මේ නමේ උපත.
බලනකොට මේ නම අයිති දරුවගෙ තාත්තා තමයි නම දාල තියෙන්නෙ. දරුව ඉපදිල තියෙන්නෙ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා අභාවප්‍රාප්ත වෙච්ච දවස්වලලු.

ඒ දවස්වල 'වෑර්ලස් එකේ' (ගුවන් විදුලියේ) හරියට වැඩසටහන් වල කියවුනනානේ ඔය 'දිවංගත ප්‍රේමදාස' නාමය. මේ ගැමි මනුස්සයා හිතල තියෙන්නෙ දිවංගත කියන්නෙ 'ශ්‍රීමත්' වගේ විශේෂණ පදයක් කියලා. තේරුම හොයලා නැහැ, ලස්සන නිසා දැම්මලු. 
බලාගෙන ගියාම අපේ නගරබද 'පොෂ්' අම්මල තාත්තලත් ඔය වගේ තේරුම හොයන්නැතුව නම් දානවානේ! (උදා. 'ට්‍රික්සි' = ප්‍රයෝගකාරී / සෙල්ලක්කාර )

ආයෙ දවසක් ආවලු අලුතෙන්ම දරුවෙක් බාර දෙන්න. බාර දීලා දෙමාපියෝ ගියාලු. අපේ ගුරුතුමා අර දරුවගෙන් විස්තර අහනවලු.
"පුතේ ඔයාගෙ තාත්තගෙ නම?"
කොළුවා උඩ බිම බළයි.
"ඇයි පුතේ දන්නෙ නැද්ද?"
(නොදන්නා බව හැඟවීමට ඔළුව වනයි.)
"හොඳයි ඔයාගෙ අම්මා ගෙදරදි තාත්තට කතා කරන්නෙ කොහොමද?"
"ඕයි..කියලා"
"එතකොට තාත්ත අම්මට...?"
"ඒයි.....!"

වායුසමනය කරපු විවේකාගාරයක, සැප පුටුවකට බර වෙලා ජනතා මුදලින් නඩත්තු වෙන අන්තර්ජාල සබඳතාවකින් මේක ලියන මට, ඔබ ලවා ඔවුන්ව උපහාසයට ලක් කරන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නැති බව යළි යළිත් අවධාරණය කරන්නනම ඕනෑ. මහාචාර්ය ගංගානාත් කියනව වගේ, අපිව මේ විදියට නඩත්තු කරන්න මේ අහිංසකයින් පවා දායක වෙනවයි කියන එක කවදාවත් අමතක කරන්න හොඳ නෑ. මගේ විවේකාගාරයේ දැල්වෙන පහනත්, වායුසමන යන්ත්‍රයත් වැඩකරන්නෙ විදුලියෙන් නොවේ, මේ අසරණයින්ගෙ ලේ දහදිය වලින් කියලයි මට හිතෙන්නෙ. අන්තර්ජන්ජාලෙ හුවමාරු වෙන්නෙ දත්ත නොවෙයි, ඔවුන් හෙලන කඳුළු කියලයි මට හිතෙන්නෙ. මේ ගැමියන්ට සේවය කරන්න අනන්ත දුක් ගැහැට විඳින අපේ ශ්‍රේෂ්ඨ ගුරු පරපුරට මෙය උපහාරයක්ම වේවා..!

ගුරු සිත සලිත කළ ගැමි සුවඳ


කලකට පසු අද යළිත් අතිශයින් සංවේදී අත්දැකීමකට මුහුණ දීමට සිදුවිය. අවුලකට ඇත්තේ එහි ප්‍රතිඵලය සිත් තැවුලකින් කෙළවර වීමයි.

ප්‍රථම උපාධියේ අවසන් විභාගය ලියා ප්‍රතිඵල එන තෙක් මාතර නගරයේ පුද්ගලික පන්තියක් ආරම්භ කළෙමි. ඉලෙක්ට්‍රොනික් හා රොබෝ උන්මත්තකයකු වූ මගේ පාඨමාලාව 'ක්ෂුද්‍රපාලක පරිගණක වැඩසටහන්ගතකරණය හා රොබෝ තාක්ෂණය' නම් විය. ඉතා කෙටි ශීර්ෂයකින් යුත් නිසාදෝ එය අතිශයින් ජනප්‍රිය විය. කොතරම් ජනප්‍රිය වූවාද කිවහොත් සූ... ගාලා ශිෂ්‍යයෝ 4 ක් වැනි අති විශාල සංඛ්‍යාවක් ආරම්භයේ සිටියත් පාඨමාලා ගාස්තු එකතුකරනවිට එය 2 දක්වා ශීඝ්‍ර ලෙස සංවර්ධනය වී තිබුණි.

එක් ශිෂ්‍යයෙක් නම් ආරම්භක දිනයේම ඔහු පන්තිය නතර කරන බව මට දිනය අවසානයේ දැන්වීය. මගේ ඉගැන්වීමේ ප්‍රශ්නයක් නැති බවත්, මේ පාඨමාලාවේ අන්තර්ගතය තම අවශ්‍යතාවට නොගැලපෙන බව ඔහු අවංකව කියා සිටියේය. රූපවාහිනී අළුත්වැඩියා කිරීම හා ගෙවල් වයරින් කිරීම ජීවිකාව කරගත් ඔහුට කෘත්‍රිම බුද්ධිය සහිත රොබෝවරු හෝ අධි තාක්ෂණික වාහන පරිගණක පාලක පද්ධති නිර්මාණය කිරීමට අවශ්‍ය නැති බවත්, දුප්පත් පවුල් කාරයෙකු වූ තමාට විවිධ රටා මවන බුදුරැස්මාලාවක් සාදා ගැනීම ප්‍රමාණවත් බවත්, මගේ පාඨමාලාවේ වපසරිය පුළුල් බවත්, මගේ දැනුමට ගරු කරන බවත් ඔහු ඉතා අවංකව දන්වා ඉවත් විය. 

උපාධිය ලබාගත් පසු රැකියාවේ හා පශ්චාත් උපාධියේ කටයුතුවල කාර්යබහුලත්වය හේතුවෙන් මට එම පාඨමාලාව එක් ශිෂ්‍ය කණ්ඩායමකට සීමා කිරීමට සිදුවිය. (එය ත්‍රෛමාසික පාඨමාලාවකි.)

වසර දෙකකට පසු...

අගනුවර අධික කාර්යබහුල ජීවිතයට සමු දී හැදුණු වැඩුණු නගරයට පැමිණියෙමි. එක් දිනක් ඉහත කී අපූරු ශිෂ්‍යයා මට අහම්බෙන් මුණ ගැසුණි. මා පාඨමාලාව ඉගැන්වීම නවතා දමා ඇති බව ඇසූ ඔහු බෙහෙවින් කණගාටු විය. කෙසේ වෙතත් මගෙන් එම පාඨමාලාව නිවසටම පැමිණ තමන්ට අවශ්‍ය ලෙස හැදෑරීමට අවැසි බව කියා සිටියේය. ඒ සඳහා ගාස්තුවක්ද කියන ලෙස ඉල්ලීය. රු. අටදහසකට එය තීන්දු විය.

ඔහු අද දහවල් 12 ට මගේ නිවසට පැමිණ සවස 5 පමණ වනතුරු මා සමඟ එකී කාරණයේ යෙදුණි. හෙතෙම දහවල් ආහාරය නගරයෙන් ගෙන පැමිණ තිබුණෙන් මම සවස 3ට පමණ නිවස තුළ දිවා ආහාරය ගත් අතර ඔහු ෆෝටිකාවට ගොස් අම්මා සහ තාත්තා සමඟ පිළිසඳරක යෙදෙනු ඇසින.

සවස 5.30ට පමණ අදට පාඩම අවසන් කළෙමි. පාඨමාලා ගාස්තුවෙන් කොටසක් ලෙසට රු. පන්සියයක් ඔහු මට දුන් අතර මම එය එතරම් ගණනකට නොගත්තෙමි.
ඔහුගේ යම් විශේෂයක් මා දුටුවේ අන්තිම මොහොතේය. වයස තිස් ගණනක් වූ ඔහු මට දණ ගසා වැන්දේය !
එවෙලේ යම් නුහුරු හැඟීමක් මසිත පහලවුවද මට වඩා ඉතා අඩු වයස් පරතරයක් සහිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් මට එසේ කළ බව සිහිවී එම හැඟීම මගහැර දැමීමට උත්සාහ කළද සාර්ථක වූයේ නැත, මොහු අඩු වශයෙන් අවුරුදු දහයක්වත් මට වඩා වැඩිමල් බව මට සිතුණි.

කෙසේ වෙතත් මේ සිද්ධිය මම අම්මාට කීවෙමි.
"අනේ එයා ගියාද..? පව් හරිම අහිංසක ගැමි ළමයෙක්. ගොඩක් ඈත ඉඳන් ඇවිත් තියෙන්නෙ. හරියට ගුරු ගෞරවේ. අපිත් එක්ක එකට වාඩි උනේම නෑනෙ කොච්චර කිව්වත්. සීනි තේකොළ, බිස්කට් එහෙමත් ගෙනත් තිබුණා. සල්ලි එහෙම ගන්න එපා කීයටවත්..." 

සල්ලි..? එම පිළිකුල් සහගත වදන මා සිත තුළ දෝංකාර දෙන්නට විය.
මා ඔහුගෙන් මුදල් ගත් බව සිහිවී සිත ගිණියම් විය. 

ඉතා ධර්මානුකූල දිවියක් ගත කරන තමා අසාධාරණ ලෙස තම සේවයට  ගාස්තු අය නොකරන බවත්, බිරිඳ රැකියාවක් නොකරන බවත්, තමා කුඩා දරුවන් දෙදෙනෙකුගේ ආදරබර පියෙකු බවත් ඔහු කී බව මට සිහිවී මට පපුව 'හෝස්' ගා ගියේය. මට එවෙළේ ආවේස වී සිටියේ කිනම් යක්ෂයෙක්ද...?

මා දැන් සිතන්නේ ඔහු අමතා නැවත පැමිණෙන දිනකදී මුදල් රැගෙන නො එන ලෙස ඉල්ලා සිටීමටයි. ඔහුගේ ප්‍රතිචාරය කුමක් වනු ඇත්ද...?

පොල් ගැසීම


මේ කතාව මට කිව්වේ මම කලින් වැඩකරපු සොෆ්ට්වෙයා කම්පැනියෙ අපේ අයි.ටී. මැනේජර් සුදේශ්, අපි දෙන්නා 'අර්ජන්ට්' ප්‍රොජෙක්ට් එකකට නයිට් එකක් අදිද්දි.(ඒ කොම්පැනියෙ හැමදාම ඉතින් 'අර්ජන්ට්' තමා. හදිස්සියක් නැති කස්ටෙක්ගෙ ප්‍රොජෙක්ට් එකක් ආසාවටවත් හොයා ගන්න නෑ ! ඉතින් කාපන්කො පරිප්පුව!!).

සුදේශ් කළින් හිටියෙ මැද පෙරදිග රටක. ඉදිකිරීම් ඉංජිනේරු සමාගමක අයි.ටී. සෙක්ෂන් එකේ.
මේ සමාගමට ලැබුණලු මහා පරිමාණ ජල නළ එලීමේ ව්‍යාපෘති රාජයෙක්. ප්‍රොජෙක්ට් එක භාර වුනේ සුදේශ්ගෙ නවාතැනේ ගජයා, ඉන්දියන් ඉංජිනේරුවෙකුට. නගර දෙකකින් නළ එලාගෙන ඇවිත් අන්තිමට එක තැනකදි දෙකම එකට සෙට් කරන්න තමයි ප්ලෑන් කරලා තිබුණේ.

වැඩ කරපු කම්කරුවොත් වැඩි හරියක් ඉන්දියන් කාරයොලු. මේ අතර ඉඳල තියෙනවා හෙඩ් බාස් කෙනෙක්, මිනිහත් ඉතින් ෆුල් හින්දුස්තාන් ඩයල් එකලු.

වැඩ පටන් ගන්න දවසෙ පොර ඇවිත් අපේ ඉජිංනේරුවට කියනවලු
"සර්, වැඩ පටන් ගන්න කලින් අපි පොල් ගෙඩියක් එහෙම ගහලා වස් දොස් ඇරලා එහෙම කරමු."
එන්ගලංතෙ ඉගෙනගත්තු ඉන්ජිනේරු ඩයල් එක ඕව ගැන විශ්වාසයක් නෑ. එත් කමක්නෑ මුන්ගෙ හිතට හරි හොදයිනේ කියලා අවසර දුන්නලු.

ඔන්න ඉතින් ගජරාමේට වැඩ කරගෙන ගිහින් වැඩේ ඉවර වෙන්නත් කිට්ටුයිලු.
හෙඩ් බාස් තුමා ඉංජිනේරු තැන්ටත් වැඩිය හෙන පණ්ඩිතයලු. 'මෙහෙම කරන්න, අරහම කරන්න' කියලා කස්ටිය දක්කනවලු.
මෙයා ඉතින් ජීවිතේ වැඩි හරියක් ඔය වගේ ප්‍රොජෙක්ට් වලම වැඩ කරපු නිසා අපේ ඉංජිනේරුවත් හිතුවලු 'වැඩේ එළකිරි වගේ දෙයි. ආයෙ වැඩිය ඇඟිලි ගහන්න ඕනිත් නැහැ' කියලා.

ඔහොම ගිහින් වැඩේ ඉවරවෙන දවසක් ආවලු.
මලලසේකර ! ගම කාලා. දෙපැත්තෙන් ආපු බට ලයින් දෙක කොහොමවත් සෙට් කරන්න බැරිලු. මීටර් ගණනක් වෙනස්ලු බිම් මට්ටම (ලෙවල් එක).
දැන් ඉතින් මොකෑ කොරන්නේ කියලා හෙඩ් බාස් තුමා ගිහින් ඉජිංනේරුවට වාර්තා කළාලු ඔලුව කහ කහ.

අපේ ඉජිංනේරු තුමා:
"කමක් නෑ. උඹල පොල් ගෙඩියක් එහෙම ගහලනෙ පටන්ගත්තෙ?"
"ඔ.. ඔව් සර්."
"ගිහින් ගෙනෙන් තව පොල් ගෙඩියක්."

පොරට (හෙඩ් බාස්ට ) දැන් මාර හැපිලු. මිනිහ හිතුවෙ අම්බානකට කුණුහරුප අහගන්න වෙයි කියල. ඔයින් ගියා මදෑ.
"ඒ.. ඒ මොකටද සර්..?"
"ගෙනත් ගහපන් මගෙ ඔලුවෙ. බොලා වගේ උන් විශ්වාස කරල වැඩ බාරදුන්නට..!"

පිට්ටුව


කැම්පස්චල කැන්ටිමේ බත් එක කලක් ගියාම බල්ලෙකුටවත් කන්න බැරි බව දන්නවනේ. කොච්චර රසද කියනවනම් ඇස් වහගෙන එළවලු 4 ජාතියක් වෙන වෙනම කාලා බැලුවොත් කියන්න බැහැ මොකද්ද කෑවේ කියලා...ඇයි ඔක්කොම එක රහ, ඒ කියන්නේ පිරිසිදු ජලීය H2O වල තියෙන රසනේ..ඉතින් මේ කාලෙ කොල්ලෙක් ගෙදර ගියාම ගේන බත් එක නම් දිව්‍ය භෝජන පරාදයි. සමහර විට ගෙනාපු එකාටවත් කන්න ඉතුරු වෙන්නෙ නෑ. ලෙහන පමාව විතරයි. වාෂ්ප වෙනවා. සබන් දාලා අත හෝදලා කන හොඳ සෞඛ්‍ය පුරුදු ප්‍රගුණ කරපු 'පොෂ්' උන් ඒ අතර හිටියොත් උන්ට සොරිම තමයි. උන්ට ඉතින් ඇවිල්ල කරන්න තියෙන්නෙ කෙහෙල් කොලේ හරි ලන්ච් ෂීට් එක හරි වතුර නැතිව හෝදන්නේ කොහොමද කියලා රස පරීක්ෂණ පවත්වන්න තමයි.

ඉතින් ඒ තරම් අහේනියෙන් ඉන්න උන් ගෙදර ගියාම ගෙදර උන්ට පුදුමයි. යසට හිටිය පොඩි එකා එකපාරටම මහා කෑදරයෙක් වුනේ කොහොමද කියලා ගෙදර මිනිස්සු දහ අතේ කල්පනා කරනව. ඒ මදිවට මෙච්චර කාලෙකට ඇඟේ හැප්පුනත් සත 5කට ගණන් ගත්තෙ නැති වත්තෙ පළතුරු ගස් හූරගෙන කන්නෙ මුන් හරියට ගිහින් තියෙන්නෙ කැම්පස් නෙවෙයි ගාමන්ට් එකක් පාලනය කරන්න වගේ.

අපේ ගෙදර මිදුලෙ ටිකක් එහායින් තියෙනව පැණි කාමරංකා කියල පළතුරු ගහක්. ගෙඩි පෙනුමෙන් නිකං ගොරක වගෙයි. ඒ උනාට පට්ට රහයි. ඕක දිහා බලාගෙන ඇවිත් අපේ ගෙදර එන කැම්පස් කොල්ලො බයිසිකලේ හප්පගන්න හැදුවෙ එක පාරක් දෙපාරක් නෙමේ.

මෙච්චර දිග පූර්විකාවක් ගත්තෙ මීළඟට කියන්න යන කතාවෙ මම කරපු කොළු වැඩේ සාධාරණිකරනය කරන්න.

Aja-X කියන්නෙ මගේ බැචෙක්. අපේ බෝඩිමේමයි හිටියේ. මුගේ මරු වැඩ ගැන වෙනම පොතක් ලිව්වොත් ඒක මහා පතරංග ජාතකයත් වැඩිය දිග වෙනවා ෂුවර්. ඒවා පස්සෙ ටික ටික කියන්නම්.
මූ ටිකක් නෙමෙයි ගොඩක් අමුතු ඩයල් එකක්. එච්චර මහත නැති උනාට ගොඩක් කන්න පුළුවන්. හිත හොඳ එකා උනාට මුගේ අවුලක් තියෙනවා. ඒ තමයි කන බොන වෙලාවට බෙදාගෙන නෙමෙයි බදාගෙන කන්න තමයි වැඩි කැමැත්ත. මූ සමහර සති අන්තෙ හැටන් වල ළඟ නෑ කෙනෙක්ගෙ ගෙදර ගිහින් ලොකු කෑම එකක් එහෙම ගෙනාවට බෝඩිමේ අනිත් උන් එක්ක බෙදාගෙන කන්න එහෙම පින්සර සිතුවිල්ලක් පහල වෙන්නෙම නෑ බැරිවෙලාවත්. අනිත් එකෙකුටවත් මේක වැඩිය ඇල්ලුවෙ නෑ.

ඉතින් අපි හිතාගෙන හිටියා අපේ වෙලාව ආවම මේකට "දෙන්නං ජම්බූ".

ඔන්න දවසක් පොර හැටන් ගිහින් ආවා. එනකොටම තරුක අහපි "මොනවද බං නැන්ද ගේන්න දුන්නෙ?"
"මුකුත් නෑ."
ඒක කොහොමටත් වෙන්න බැරි දෙයක්. අඩු ගානේ මූට කන්න හරි කෑම එකක් ගෙදරි දෙන්න ඇති.
මූ ගියා බාත් රූම් එකට නාගන්න. කොල්ලා හෙන පිරිසිදු ඩයල් එක.

තරුකයයි අඹේවෙලයයි මාවත් ඇදගෙන ගියා උගෙ රූම් එකට. ඇරියා බෑග් එක. මේ තියෙන්නෙ හෙන ගැහුවා වගේ තඩි කෑම පාර්සලයක්. ඒක දැක්කම පේනවා "පුතේ මේක යාලුවොත් එක්ක බෙදාගෙන කන්න" කියලා එවපු එකක් කියලා. මුගේ කල්පනාව  මේක තනියම කන්න.
ඒකෙ තිබුනෙ පිට්ටුවකුයි, චිකන් සහ බිත්තරයක්.
පිට්ටුවෙන් බාගයකට ටිකක් අඩුවෙන් අපි තුන්දෙනා කෑවා. පට්ටම රහයි. අනිත් දෙන්න බිත්තරෙනුත් බාගයක් කාලා අනිත් පැත්තට හරවලා තිබ්බා. (ලිහපු ගමන් පේන්නෙ ෆුල් බිත්තරේම තියේ වගේ)
ආපහු ඔතලා තිබුණු විදියටම තියලා අපි මුකුත් නොදන්න ගානට හිටියා.

මෙන්න මූ නාගෙන එනවා පොෂ් කොල්ලා වගේ. අපිත් කෑම ගෙනත් තිබුනෙ කඩේකින්. අපි අපේ බත්මුල් ලිහාගෙන කාල ඉවරවෙන්න කිට්ටු වෙනකං හොරගල් අල්ල අල්ල මූ හිටිය.

ඊට පස්සෙ මූ ගිහින් ගෙනාව උගෙ 'පිට්ටුව'.
"ඇයි උඹ කිව්වෙ මුකුත් ගෙනාවෙ නෑ කියල?"
"මොනාද බං?" එකෙක් නොදන්න ගානට ඇහුව.

"කව්ද මගෙ කෑම එක කාල.බිත්තරෙනුත් බාගයක් කාල." මූ නහයෙන් අඬයි."තොපි කෑව නේද..?"
"මේ මේ... හු**** කතා කරන්න එපා. අපි කොහොමද දන්නෙ තොගෙ බෑග් එකෙ ඔහොම මගුලක් තියෙනව කියල...?"
"උඹට මතක නැතුව උඹ බස් එක තේ බොන්න නවත්තපු වෙලාවක උඹම කන්න ඇති."
"***** ******"