Thursday, September 13, 2012

සංවේදී කමට බිලි දුන් රස්සාව


'කට වැඩි නිසා'  සරසවියෙන් රස්සාවක් දීම ප්‍රතික්ශේප කළ හෙයින් පුද්ගලික අංශයේ රැකියාවක් සොයා ගන්නට සිදු වූ බව ඔබ දනී. මට ලැබුනේ මෘදුකාංග ක්ෂේත්‍රයේ රැකියාවකි. මගේ වැඩි කැමැත්ත තිබුනේ ඉගැන්වීමට මුත් කරන්නට දෙයක් නොමැති තැන හිත හදාගෙන එය කරගෙන ගියෙමි. මෙහිදී තරමක් මානසිකව වැටී සිටි මට හොඳ මිතුරියක් සම්භවුනි. මිතුරියක් යනු මිතුරියක් (යෙහෙළියක්) මිස ආදරවන්තියක් නොවේ! ඇයට පෙම්වතකු සිටී. මා කිසිදිනක ඇයගෙන් මිතුදමට එහා යමක් සිහිනයකිනුදු පතා නැති බව මගේ හදවත දනී. දැඩි පීඩනයක් යටතේ දිනකට පැය 12-18 සේවය කළ අප අපේ මිත්‍රත්වයෙන් බලාපොරොත්තු වූයේ හුදෙක් හිත සැනසෙන්නට වචනයක් හුවමාරු කරගැනීම පමණි. අප දෙදෙනා මුළදී එකම ව්‍යාපෘතියක එකම කණ්ඩායමක වැඩ කළෙමු. අප ආහාර ගන්නේ එකටය. රෑ බෝ වන තුරු වැඩ කළ දිනවලට මම ඇය ගාළු පාරට ගොසින් ඇරලවමි. ඒ යන මීටර් 700 තුළදී අප කතාකරන දෑ දෙදෙනාගේම මානසික සෞඛ්‍යය හොඳින් තබාගැනීමට තරම් වටිනාකමක් එක්කළ බව අප දෙදෙනාම ඒකමතිකව විශ්වාස කළෙමු.

කරමින් සිටි ව්‍යාපෘතිය අවසන් වූයෙන් අප ආයතනය විසින් අළුත් එකක් භාරගෙන තිබුණි. කලින් එකේ මගේ වැඩ කොටස ඉතා හොඳින් කළ නිසා මට නව ව්‍යාපෘතියේ මෙහෙයවීම භාර දීමට කළමනාකරීත්වය තීරණය කර තිබුණි. තාක්ෂණික ප්‍රධානී සහ මගේ සහායිකාව වූයේ මගේ යෙහෙළිය වීම හිතට ඉමහත් සැනසීමක් විය. ගතවන කාලය ඇස්තමේන්තු කළ යුතු විය. කණ්ඩායම සමඟ සාකච්චා කර මාස 3ක් ඉල්ලීමි. 'එච්චර වැඩියි' කී පාලන අධිකාරිය මෙය හදිසි (අපෙන් නො අසා ගනුදෙණුකරුට පොරොන්දු වී තිබිණ.) එකක් හෙයින් මාසයකින් සම්පූර්ණ කිරීමට බල කළේය. කෙසේ හෝ වැඩකරන දින 34කින් ව්‍යාපෘතිය භාර දීමට කැමතිකරවා ගැනීමට මට හැකිවිය.

කිසි ප්‍රශ්නයක් නැතිව අපේ ජීවිත සති කිහිපයක් ගලා ගියේය. සියල්ල කණපිට හැරවුනේ තවත් අලුත් ප්‍රොජෙක්ට් එකක් සමාගමට ලැබීමත් සමඟය.
මෙහිදී මට දරාගැනීමට බැරි තීරණයක් කළමනාකාරීත්වය ගත් හ. එනම් මගේ යෙහෙළිය මගේ ප්‍රොජෙක්ට් එකෙන් ගලවා එහි සේවයට යෙදවීමය. ඊට වඩා වැඩේ දරුණු වන්නේ ඇයගේ තැන ගැනීමට අළුතින්ම පැමිණි ට්‍රේනී (පුහුණුවන) කෙල්ලක් දැමීමය. පළපුරුදු අයකුගේ සේවය වෙනුවට ආධුනිකයකුගේ සේවය ලබාගනිමින් නියමිත දිනයටම වැඩ අවසන් කළ යුතු බව ලොක්කෝ මට දැන්වූහ. කරුණු පැහැදිලි කිරීමට ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථ විය.

මට දරා ගැනීමට නොහැකිම කරුණ වූයේ තාක්ෂණිකව මට මුහුණ දීමට සිදුවූ අපහසුතාවය නොවේ. මගේ යෙහෙළිය මා වෙනුවෙන් වචනයක්වත් කතා කිරීමට උත්සුක නොවීමය. ඒ වෙනුවට ඇය පාලන අධිකාරිය සාධාරණීකරණය කරන්නට අසාර්ථක උත්සායක යෙදුනේ මන්දැයි නොදනිමි. සමහරවිට එකම දවසේ සේවයට බැඳී මා යටතේ සේවය කිරීම, පිටින් නොපෙන්නුවාට සිත යටින් ඇය නොරිස්සූ වූවා විය හැක. ඇරත් ඇය මොරටු උපාධිධාරිනියකි.
මේවා කියමින් මම ඇයට චෝදනා කළෙමි. ඇය නොවේ සළිත වුනේ. ඒ වෙනුවට ඇය තම අළුත් කණ්ඩායමේ සාමාජිකයින් සමග ඉතා සතුටින් වැඩ කරනුද, එකට ආහාර පාන ගනිනුද පෙනුනි. සමහර විට මට පෙනෙන්නම එසේ කළා විය හැකිය. මම එවෙලේ කතාකළ අයුරු තද වැඩියයි දැන්න්ම් සිතේ.
එදින රාත්‍රියේ ඇය මා ඇමතීමට උත්සාහ කළාය. 'මල පැන' සිටි මම දුරකථනය විසන්ධි කළෙමි.

එදා සිට සති ගණනාවක් මා සිතින් ජීවත් වූයේ අමු අපායකය. කෙසේ වෙතත් ප්‍රශ්නවලින් පැන යන පුද්ගලකු නොවන මම මගේ රාජකාරිය නිසි ලෙස, වෙනදාටත් වඩා හොඳට කරගෙන ගියෙමි.
දිනක් මේ පීඩනය පුපුරා ගියේය. ඒ ඇය මා වෙත 'පාස් කළ' සියුම් 'හින්ට් එකක්' (උපහාසයක්) නිසාවෙනි. මට නිම් නැති විය. මා විඳි දුක කියමින්ද, එයට ඇය වගකිව යුතු බව චෝදනා කරමින්ද මිනිත්තු ගණනක් මම ඇයට බැණ වැදුනෙමි.

වැඩ කළ හැකි මානසිකත්වයක් නොවූ බැවින් මම එළියට ගියෙමි. එළියේ ගැලරියේ අපි කෑම කන තැන මේසයක් හා පුටු කිහිපයක් වෙයි. අවුරුදු විසි ගණනකට පසු මම දරාගත නොහැකි ආත්මානුකම්පාවෙන් හැඬුවෙමි.
මෙහිදී මා කිසිසේත් බලාපොරොත්තු නොවූ දෙයක් සිදුවිය. එනම් හැඬුමට මාත් සමඟ ඇයත් එක්වී සිටියාය. මාත් සමඟම ඇයත් කාර්යාලයෙන් පිටවී තිබුණි.

කෙසේ වෙතත් ඒ වනවිට සියල්ල සිදුවී හමාර වී තිබුණි. මගේ අස්වීම් ලිපිය මා භාරදී තිබුනේ මීට සති කිහිපයකට පෙරය. ව්‍යාපෘතියත් නොබෝ දිනකින්ම සම්පූර්ණ වූයෙන් මම සියල්ලන්ට සමුදී පිට වූයේ හිස් අතින්ය.

මා දැඩි තීරණ ගන්නා අනම්‍යශීලී පුද්ගලයෙකු බව ඔබ පවසනු ඇත. එහෙත් නමට 'මෘදු'කාංග වුවත් එහි සිටින බහුතරයකගේ හදවත් මෘදු නොවන බව අත්විඳ, කළකිරී සිටි මම ගත් තීරණය ගැන අදටත් පශ්චාත්තාප නොවෙමි. මා උගත් දෙයින් එදාට වඩා අද රටට සේවයක් වන්නේ යයි හැඟෙන නිසා ඒ මතකය අමතක කිරීමට මට අපහසු නොවනු ඇතැයි උපකල්පනය කරමි.

No comments:

Post a Comment